Chat With swarna mallawarachchi
Posted by banti
Posted on 11:12 AM
with No comments
ජීවිතය සෙවීම පහසු නොවේ. එය ට යහපත් සිහියත්, බුද්ධියත් අවශ්‍ය ය. යහපත් සිහිය , දැක්ම කෙනෙකු ගේ ඉරණම වෙත ඔසවා තබයි. ජීවිතය තුළ යමක් ඉතිරි කර තැබිය හැක්කේ කීයෙන් කී දෙනාට ද .කාලය ඒ තැබීම මිනිස් මතකයෙන් ඈත් නොකරයි. එය අත්නොහැර තබයි.
මම මේ හඳුන්වා දීමත් සමග සාකච්ජාව කෙසේ ආරම්භ කළ යුතුදැයි සිතමි. හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පනී ලිවීමට අවශ්‍ය නැතැයි සිතමි .එහෙත් මම ආරම්භය පිළිබඳ සිතමි . මේ මුණගැසීම සුවිශේෂී වන්නේම අප ඇයට දක්වන කැමැත්ත සහ ආදරය නිසාවෙනි. ඇය අපට සුවිශේෂී වන්නේම ඇය අප වෙත ඉතිරි කර ඇති දේ නිසාමය .
"සත්සමුදුර" ,"හන්තානෙ කතාව" ,"මාතර ආච්චි" ,"තුංමං හන්දිය "වැනි යහපත් නිර්මාණශීලී සිනමාව තුළින් පිවිස "මායා", "යහළු යෙහෙළි", "සුද්දිලාගේ කතාව", "හංසවිලක්", " මුහුදු ළිහිණි", "දඩයම", "සාගර ජලය", "මී හරකා", "කැඩපතක ජයා", "චන්න කින්නරී" ,"බවදුක", "බවකර්ම", "අයෝමා", "අනන්ත රාත‍්‍රිය" වැනි පරම්පරා ගණනාවක නිර්මාණශීලී අධ්‍යක්‍ෂකවරුන්ගේ නිර්මාණ තුළ තම රංගණ හැකියාව ස්වර්ණමය මුද්‍රාවක් ලෙස සනිටුහන් කළ සවර්ණා මල්ලවආරච්චි නම් රංගවේදිනිය ලාංකේය සිනමාව වෙතට තබා ඇති දේ අමරණියය. ශ්‍රේෂ්ඨය.
තාරකාවකට වඩා වෘත්තීමය රංගන ශිල්පිණියක ලෙස හඳුන්වා දිය හැකි ස්වර්ණා, මෙරට සිනමාවේ චරිතාංග රංගනයේ අති ප‍්‍රභල ප‍්‍රමුඛස්ථානයයි.
මම මිරර් ආර්ට්ස් වෙනුවෙන් ඇය මුණගැසීමි. බොහෝ කාලයකට පසු ඇය මාධ්‍යක් හා කරණ සම්මුඛ සාකච්ජාව මෙයයි. මේ "මිරර් ආර්ට්ස්"සමග ඇය කළ සාකච්ජාවයි.
ස්වර්ණා, ගැහැනිය සහ ඔබ කව්ද ?
ජීවිතය දිහා හැරිලා බලනකොට මම කව්ද? සන්සුන් මනසකින් ජීවත්වන මනුෂ්‍යයෙක් , ගැහැනියක් , මවක් , රංගන ශිල්පිණියක්.
ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොම ද?
ජීවිතය තුළ සන්සුන් කමක් තිබෙනවා. කාලය බොහෝ සේ ඉතිරිව තිබෙනවා නිවී සැනසිල්ලේ මට අවශ්‍ය දේ කරන්න. මගේ පුතා ඉගෙන ගෙන රැකියාවක නිරතවෙනවා .ඒ වගේම වෘත්තිය රංගන ශිල්පිණියක් වුනත් සිනමා නිර්මාණ පසුගිය කාලෙ පුරාම කළේ නැහැ. ඉස්සර දුවව අරන් ඉස්කෝල ගියා ආවා. එයාගෙ වැඩ, ව්‍යාපාරික වැඩ වගේම රගපාන්න තිබුණා. කාර්්‍ය බහුල ජීවිතයක් මා ගතකළේ. සමහර වෙලාවල් තිබුණා හිතන්න තරම්වත් වෙලාවක් නැති. නමුත් මා ඉතා හොඳ සිහි බුද්ධියකින් යුතුවයි වැඩ කළේ .
දැන් කාලය තියෙනවා .ජීවිතය නිදහස්. ගෙවල් -දොරවල්, යාන- වාහන ,ඇඳුම්- පැළඳුම් වැනි භෞතික අවශ්‍යතා පස්සෙ දුවන්නෙ නැහැ. මා අතීතයේදීත් මේ දේවල් පස්සෙ ගියෙ නැහැ. මේක් අප් වුනත් මා පාවිච්චි කරේ නැහැ උත්සවයකට යන විටවත් .මා අද හුගක් උත්සව ප‍්‍රියසම්භාෂණ වැනි දේවල් වලට යන්නෙ නැහැ . මම කම්මැලි ස්වභාවයක් දැනෙනවා. ඒ වගේ තැන්වලට ගිහින් හිනාවෙලා එනවා .ඒ අය එක්ක සම්බන්ධකම් පවත්වන්න අමාරුයි. ඒ සියලූ දෙනාම කාර්්‍ය බහුලයි .
අපි ට වෙලාව තිබිලා සනසුන් මනසින් ලෝකය දිහා බලනකොට,හොඳදේවල් දිහා බලනකොට සමාජය අනිත් පැත්තට ගිහිල්ලා ලෝකය, කාලය එක්ක වේගයෙන් ගමන් කරනවා. මිනිස්සුන්ට වෙලා නැහැ . අපේ වෘත්තීය තුළ අපිට ඉස්සර වෙලාව තිබුණ චිත‍්‍රපටියක් රූගත කරන්න ගියාම අපි ඉක්මනින් ගෙවල් වලට දුවගෙන ආවෙ නැහැ. අපි සේරම ආර්ටිස්ට්ලා ඒ දර්ශන තලයේම හිටියා.එතකොට අධ්‍යක්‍ෂවරයට තමන්ගෙ නිර්මාණය නිදහසේ කරගෙන යන්න පුළුවන් .නමුත් අද එහෙම නෙමේ වැඩ ගොඩකට සම්බන්ධයි. සමාජය කාර්්‍ය බහුල වෙලා හැමෝම අවිවේකියි. මම අද වනවිට බොහෝ දේවල් තුළින් ඈත්වෙලා. පුවත්පත් වල ඇලී ගැලී නැහැ. රූපවාහිනී බැලූවහම අනවශ්‍ය දේ මනසට ඇතුල් වෙනවා. මුළුලෝකෙම වගේ වෙලාවකට මරණ දේවල් ,යුද්ධ ,මිනී ,මේවා තමා පෙන්වන්නෙ. මේවා ප‍්‍රවෘර්ති ද? මිනිස්සු රාත‍්‍රි නින්දට යන්නෙ මේ මානසික තත්ත්වයත් එක්ක. ඒවා අනවශ්‍ය දේවල් කියලයි මම තේරුම් අරන් ඉන්නෙ .
ඔබ කියන්නෙ එවැනි සන්සුන් මානසිකත්වයක් තිබෙන්නෙ අත්දැකීම් එක්ක කියල නේද?
අත්දැකීම් කාලය සහ අවබෝධයත් එක්ක. මම අද විතරක් නෙමේ එදාත් මේ වගේ තමා . ජීවිත අවබෝධය තිබුණා. මම ඒ අවබෝධය සොයා ගියෙ කියවපු පොත්පත් තුළින්. මම හුගක් රුසියානු සාහිත්‍ය ඇතුළුව ටෝල්ස්ටෝයි,දොස්තොව්ස්කිවැනි ලේඛකයන්ගෙ පොත්පත් පරිශීලනය කරපු කෙනෙක්. බොහෝවෙලාවට එදා කතාවල තිබුනෙ ඒ ලේඛකයන්ගෙ ජීවිත අත්දැකීම් ඒ පොත් තුළින් ජීවිතයට විශාල ශක්තියක් ,අවබෝධයක් ලැබුනා වගේම, හරි දේ කරන්න, ජීවිතයේ දකින්න ,තමන් ගෙ ජීවිතයට පැමිණෙන දේවල් දිහා තර්කානුකූලව බලලා නිවැරදි දේ තෝර ගන්න මේ පොත් උපකාරවුණා.මම පුංචිකාලෙ ඉඳලා අදටත් චරිතාපදාන ඇතුළුව බොහෝ පොත් පත් කියවනවා.ඒ වගේම මගේ දියණියත් හුගක් කියවනවා .මට හිතෙනවා අද දුව ඉන්න තැනට එයාට එන්න මේ පොත්පත් හුගක් උපකාරිවුණා කියල.
ඒ සන්සුන් කම අභ්‍යන්තරයේ තෘප්තිමත් බව තිබෙනවද?
ඔව් .පැහැදිළිවම එය ඉතාමත් තෘප්තිමත් හැගීමක්,දැනීමක්. බොහෝ දේවල් වළින් ඈත්ව ඉන්න කොට, බැඳීම් අඩුවෙනවිට, සරල වන තරමට මේ ජීවිතය සැහැල්ලූයි. අපි බැගේජස් අරන් යන්න හොඳනැහැ. ගමනක් යනකොට බෑග් දහයක් අරන් යනවට වඩා අවශ්‍යම දේ සමග එක බෑග් එකක් අරන් සැහැල්ලූවෙන් යන්න පුළුවන්නම් මහන්සියක් නැතුව යන්න පුළුවන්. ජීවිතයත් ඒ වගේ තමා. සරල වන තරමට බැඳීම් අඩුවන තරමට සැහැල්ලූයි.
ඔබ මේ කියන්නේ යම්කිසි ආධ්‍යාත්මික කාරණා ගැනද?
ආධ්‍යාත්මික පසුබිමකුත් තියෙනවා . මම කුඩා කළ සිටම ආධ්‍යාත්මික කාරණා සම්බන්ධ පොත් පත් පරිශීලනය කළා .මම අවුරුදු දෙළහක් තිස්සෙ සත්‍ය ශ‍්‍රී සායි බබා ගේ පොත් පත් කියවනවා. එතුමා අලූත් ධර්මයක් දේශනා කරන්න ආපු කෙනෙක් නෙමෙයි. නැතිවෙමින් යන ධර්මය නැවත ප‍්‍රතිෂ්ටාපනය කරන්න ට තමයි ඔහු වෙහෙස ගත්තෙ. ඔහු සියළු ආගම්වළට ගරු කළා.
මේ විශ්වය අපට තේරුම් ගැනීම හරිම අසීරුයි .දෙවියන්ව අපට තේරුම් ගන්න බැහැ.බුදුහාමුදුරුවොත් මේ බව දේශණා කරල තිබෙනවා. බුදුහාමුදුරුවො, ජීසස්,මොහොමඞ් මේ සියල්ලෝම පහළවෙලා තියෙන්නෙ විවිධ යුගවල ධර්මය,අධර්මය බවට පත්වන විටයි. මේ ශාස්තෘන් දේශනා කරණ දේවල් දස සහස් ගණනාවකගෙ මනසට අතුළත්වනවා.මේ දේවල් මිනිස්සුන්ගෙ මනසට යම් ප‍්‍රමාණයක් හරි ඇතුල් වෙලා ඒ ජීවිත වලට යහපතක් වනවා.
සත්‍ය සායි බාබාට ආගමක් නැහැ. සමහරු අහනවා මම ඒ ආගමට ගිහින් ද කියල. එතැන ආගමක් නැහැ. සමහර අය එතුමාගේ කොන්ඩෙ ගැන කතාකරා, දැනගෙන හිටියා. නමුත් එහි අභ්‍යන්තරයෙ තිබුණ යහපත් බව, දර්ශනය සහ වටිනාකම දැනගෙන හිටියෙ නැහැ.
බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් අපි ඉන්න ඇතිනෙ. ඒ කාලෙ අපි ට ඒ දේශනා නිසි ආකාරයෙන් අවබෝධ නොවන්න ඇති .ඒ නිසා තමයි අපි තාමත් මේ ආකාරයෙන් ඉන්නෙ. අපි සෝවාන් වෙළත් නැහැ, රහත් වෙලත් නැහැ, නිවන් ගිහිල්ලත් නැහැ.
ඔබ පුනරුප්පත්තිය විශ්වාස කරනවද?
ඔව්, මම එය විශ්වාස කරනවා. අපි කුමන හෝ ආත්මයක් ලබනවා. මේ තත්ත්වයට අපි ඇවිත් තියෙන්නෙ යම් කිසි අධ්‍යාත්මික දියුණුවක් නිසයි.ඒ නිසයි අපි මේ මිනිස් බවයක් ලබලා තියෙන්නෙ.එලෙස ලැබී තිබෙන මේ මනුෂ්‍ය ආත්මය තුළ මිනිසුන් නිවැරදිව ජීවත්වන්නෙ නැහැ. ඒ තමන් ගෙනා කර්ම ශක්තිය අනුවයි. අපිට සියයට සීයක්ම අධ්‍යාත්මික දියුනුවක් ලබන්න අපි ට තව කොපමණ කාලයක් ගතවේවිද කියල කියන්න ඉතාමත් අපහසුයි.
මිනිස්සු යම් වයසකදි මේ අධ්‍යාත්මික කාරණය වෙත නැඹුරු වීමේ ප‍්‍රවනතාවක් තියෙනවා. ඔබට දැනෙන විදිහට ඇයි මේ ගැහැනු සහ පිරිමි මැදිවයසත් සමග මේ ආකාරයෙන් අධ්‍යාත්මික නැඹුරුවක් වෙත යොමුවෙන්නෙ?ඒක ස්වභාවයද?
මට හිතෙන්නෙ අත්දැකීම් තුළිනුයි මේ ආකාරයට අධ්‍යාත්මිකත්වයට නැඹුරුව ඇතිවන්නෙ . ඒත් හැම ගැහැනියක්ම ,පිරිමියෙක්ම එහෙමයි කියල මම කියන්නෙ නැහැ. ඉතාමත් සුළුකොටසක් පමණයි එවන් කාරනා සම්බන්ධයෙන් පෙළඹෙන්නේ.
මේ අධ්‍යාත්මික නැඹුරුව හෝ අවබෝධය රංගණ ශිල්පිනියකට වැදගත් වෙනවද?
ඔව් ,මම හිතනවා වැදගත්වෙනවා කියල. මේ අවබෝධය තුලින් අපිට නිසි ලෙස අපට ප‍්‍රතිනිර්මාණය කිරීමට ඇති චරිත සවභාවය අඳුනා ගන්නට සහ ඒ චරිතයට ප‍්‍රවිශ්ඨ වන්නට පහසුවක් ඇති වෙනවා. මම අවුරුදු 17දි රගපාන්න යොමුවුනේ .මට කොහෙන් ද ඒ දක්‍ෂතාව ලැබුනේ ?මට දක්‍ෂතාවක් තියෙනවා කියල කියනවනම් රංගන ශිල්පිණියක් හැටියට.දේවල් දියුණු කරගන්නවා නෙමේ අධ්‍යාත්මය දියුණු කරගන්න නිසා තමා අපිට එය හොඳින් කරන්න පුළුවන්වෙන්නෙ.
අධ්‍යක්‍ෂවරයෙකුට හදවතේ උතුරා යන දේවල් තියෙනවා තමන් තෝරගන්න නළු නිළියන්ගෙන් කරව ගන්න. ඒ දේවල් ඒ ආකාරයෙන් ම කරන්න පුළුවන් අය අධ්‍යක්‍ෂවරයාට ලැබුනහම ඒක සතුටක් . මෑතකදි නිලේන්ද්‍ර සමග වැඩ කළා. ඔහු කියනවා ඔහුගෙ මනසෙ තියෙන ආකාරයට ඒ චරිත නිරූපණය මා අතින් සිදුවුණා එය ඔහුට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් කියල. මට ඒ හැකියාව ලැබිලා තියෙන්නෙ මම මනස දියුණු කරගෙන ඇති නිසා. අධ්‍යාත්මික ව යම් දියුණුවක් ඇති කරගැනීමට මා උත්සාහ ගත් නිසා. ඒ නිසාම මට ඒ චරිතය අවබෝධකරගෙන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණා.
රගපෑම පහසු දෙයක් නෙමේ. නළු නිළියන්ගෙ ප‍්‍රතිශතය ගත්තොත් ඉස්සර සියයට එකක් විතර තමා ලෝකෙපුරාම හිටියෙ. නමුත් අද වනවිට එය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. සියයට පනහක් විතර අද රගපාන වෘත්තියට යොමුවෙලා තියෙනවා. අද හැමෝම රගපානවා .නමුත් ඒ හැමෝටම රගපාන්න පුළුවන්ද? පුළුවන් දක්‍ෂතා ඇති අයත් ඒ අතර ඉන්න බවක් පේන්න තිබෙනවා. ඒ සඳහා බුද්ධියක්, අවබෝධයක්, ඥානයක් තිබෙන්න ඕනෙ. ආදරය, කරුණාව ,මෛත‍්‍රිය, ඉවසීම මේ හැමදෙයක් ම තියෙන් ඕනෙ කියල මම හිතනවා .
වෘත්තිය රංගණ ශිල්පිණියක් ලෙස වසර 18ක ට පසු සිනමාවට නැවත පැමිනීම පිළිබඳ ඔබේ හැගීම කොයි වගේද?
ඇත්තටම නිලේන්ද්‍ර ගෙ "තන්හා -රතී -රගා" හි මම වසර 18කට පසුවයි රගපාන්නෙ. අනෝජා වීරසිංහත් මේ චිත‍්‍රපටයෙ වසර 14කට පසුව රගපාලා තිබුනෙ. මම එහි රගපෑ සුළු චරිතය සම්බන්ධව අධ්‍යක්‍ෂවරයා තෘප්තිමත් බව කිව්වා . එහි මා රගපෑවේ මෙම චිත‍්‍රපටයෙ තරුණ දරුවෙක්ගෙ මවක් ලෙයසි.ඇය මනෝරාණි.නිලේන්ද්‍ර චිත‍්‍රපට තුනක් කරනවා .ඒ චිත‍්‍රපට තුනේම මම රගපාන්නෙ "මනෝරානි" නමින්. පසුගිය දා මම එම සිනමා පටය නැරඹුවා. එහිදී මට සතුටක් දැනුණා....ආපහු මා රගපෑ දර්ශණය පුළුල් තිරයේ දකින විට.අපේ ජීවිත කාලයක් පුරාම ගෙවුනෙ දර්ශණ තලවල, ශබ්දාගාරවල . වෙනත් වෘත්තීන්වල නිරතවෙලා නෙමේ අපි සිනමාවට සම්බන්ධවෙලා හිටියෙ .ව්‍යාපාර කටයුතු කරා තමයි .ඒත් මගේ මූලික ජීවිතය, සමස්ථය රංගන ශිල්පිණියක් ලෙසයි මා කටයුතු කළේ.
ඔබේ කාලයේ සහ වර්තමානයේ ලංකවෙ සිනමාව ගැන ඔබේ ආකල්පය කෙබඳුද?
සිනමාවේ විවිධ යුග බිහි වෙලා තියෙනවා.ලෝකෙම තිබුණ සිනමාවේ ස්වර්ණමය යුගයක් .මට හිතෙනවා අපි අයිති ඒ ස්වරණමය යුගයට කියල. සිනමාවට ආදරේ කළ කොටසක් හිටියා .නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු, නළු නිළියන් හිටිය සිනමාවට ආදරේ කළ සහ ගෞරව කළ. ඒ නිසා සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන එන්නට ඒ හැම දෙනෙක්ම දායකවුණා. එලෙස ගොඩනැගී ගෙන ආ සිනමාව එක්තරා යුගයක යම්කිසි සමාජීය හේතු නිසා යම් බලපෑම් ඇතිවුණා.
මේ රටේ වසර තිහකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය සිනමාවට බොහෝ සේ බලපෑම් ඇති කරන්නට සමත්වුණා. ඒ වගේම රූපවාහිනිය පැමිණිමෙනුත් සිනමාවට බලපෑම් ඇති කරන්න සමත්වෙලා තිබුණ .මේ සියළු කාරණා මැද ඇත්තටම අද මේ තාක් කල් සිනමාව යම් කිසි තැනකට පැමිණ තිබෙනවානම් එහි ප‍්‍රධාන ස්ථානයක් සිනමා නිෂ්පාදකවරුනට අයිතිවෙනවා.
පුද්ගලික නිෂ්පාදකවරු නොසිටින්නට මේ සිනමාව මේ තරම් කාලයක් පවතිනේනෙ නැහැ.මුදල,ලාභය මූලික නොකරගත් සිනමා වට ආදරේ කරපු නිෂ්පාදකවරු සිටියා.ජාතික චිත‍්‍රපට සංස්ථාව එහෙම ආදරෙන් ඇවිත් නිර්මාණකරුවන්ට මුදල් ආයෝජනය කළේ නැහැ.
මේ සිනමා කර්මාන්තයෙ පැවැත්ම උදෙසා නිර්මාණ කරුවන්ට සිදුවෙනවා ඒ අයගෙ ළගට ගිහින් වැඳවැටිලා මුදල් ඉල්ලගන්න. එක යුගයක් තිබුණ ඞී.බී.නිහාල්සිංහ,තිස්ස අබේසේකර වැන්නවුන් නිර්මාණකරුවන් සොයා ගොස් අවශ්‍ය ප‍්‍රතිපාදන සළසා දී තිබුණ.
වර්තමානය තෙක් සිනමාව රදාපැවැත්වන්නට හේතුවූනේ පෞද්ගලික නිෂ්පාදකවරු නිසා මිසක්,ජාතික චිත‍්‍රපට සංස්ථාව නිසා නෙමේ.එහි ගෞරවය අයිති ඒ පෞද්ගලික නිෂ්පාදකවරුන්ටයි .එදා සිනමාව සමාජයේ ම විශාල කොටසක් බවට පත්ව තිබුණා නමුත් මේවනවිට ලාංකික සිනමාව ලාංකිකයන් අතර ලොකු කොටසක් නෙමේ.
ඒ වගේම තමා ලෝක සිනමාව ලෝකයේ පේ‍්‍රක්‍ෂකයන් අතර ලොකු කොටසක් නෙමේ.අද ලෝක සිනමාව පේ‍්‍රක්‍ෂකයනුත් සිනමා ශාලාවට ගිහින් නිර්මාණ නරඹන ප‍්‍රවනතාව අඩුවෙලා .නමුත් මේ වනවිට අමෙරිකාව,එංගලන්තය,යුරෝපා රටවල් බොහොමයක් මේ වනවිට ඒ තත්ත්වය වෙනස් කරන්නට උත්සාහ කරමින්, සමබර කරගන්නට කි‍්‍රියාකරමින් යනවා .ඔවුන් සිනමා ශාලාව වෙත පේ‍්‍රක්‍ෂකයන් ගෙන්වා ගන්නට අවශ්‍ය අනෙකුත් ප‍්‍රායෝගික වටපිටාව සකස් කරනවා.එය වෙනම සංස්කෘතියක් බවට පත්කරනවා. හොඳ සිනමා ශාලා සමග ආහාර ගැනීමට, සාප්පු සවාරි යාමට, පවුල පිටින් හෝ යාළු මිත‍්‍රාදීන් සමග සුහදව කාලය ගතකරන්නට, තමන් නිවසින් පිටතට එන කාරණය තුළ තවත් බොහෝ දේවල් ඒකට එකතු කළ හැකි ආකාරයට එකම සංකීර්ණයක් තුළ බොහෝ පහසුකම් සපයනවා. දවස සම්පූර්ණ යෙන් දවසක් බවට පත්කරනවා .
අපේ රටේ අදටත් සමහරවිට චිත‍්‍රපටයක් බලන්න යනවා කියන්නෙ ලොකු ගමනක් යනවා වගේ වැඩක්. පඩි ගන්න දවස එනකම් ඉන්න ඕනෙ. මාසෙකට සැරයක් මේ ගමන යන්නෙ. ඉස්සරචිත‍්‍රපටයක් බලන්න යනවා කිව්වහම ලක ලැහැස්තිවෙලා, අහළ පහළ වටේම අයට කියල,උයලා -පිහලා ඉවර කරලා,දරුවන්ව ලක ලැහැස්ති කරලා ,මට මතකයි චන්න කින්නරී චිත‍්‍රපටයේ එක ජවනිකාවක් තිබුණා ඒ වගේ .නමුත් අද එහෙම නැහැ.එක අතකින් අපි වාසනාවන්තයි .එදා එහෙම විශාල උවමනාවකින් පේ‍්‍රක්‍ෂකයන් සිනමා ශාලාවට ආවා .
අපි අද පවතින යම් අර්භූදකාරී හේතු සොයාගෙන මේ නව සංස්කෘතින් හඳුනගෙන පේ‍්‍රක්‍ෂකයන් සිනමාව වෙත රැගෙන ඒමට ප‍්‍රායෝගික වටපිටාව සොයා බලා කටයුතු කළ යුතුයි. ඒ වගේම චිත‍්‍රපට නිර්මාණ ත් ,පේ‍්‍රක්‍ෂකයන් නැවත සිනමා ශාලාවට රැගෙන එන්නට හැකි නිර්මාණ කිරීමේ වගකීමත් නිර්මාණ කරුවන්ට තිබෙනවා .අද හුගක් වෙලාවට නිර්මාණ අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය සඳහා නිර්මාණ කරන බවක් පෙනෙන්නට තිබෙනවා .
සිනමාව වෙත නැවත පේ‍්‍රක්‍ෂකයන් ගෙන්න ගන්න පුළුවන්නම් ඒක ප‍්‍රාතිහාර්යයක් .රජ කතා ,බෞද්ධ කතා පමණක් කරලා පේ‍්‍රක්‍ෂකයන් සිනමා ව වෙත නැවත ගෙන එන්න හැකිවෙයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ .පෙරමෙන් සිනමා ශාලාව වෙත නැවත පේ‍්‍රක්‍ෂකයින් ගෙන ඒමට තව කොයිතරම් කාලයක් යයිද කියල ඇත්තටම හිතාගන්න අමාරුයි. මේ සඳහා හොඳ නිර්මාණ කළයුතුයි වගේම හොඳ සිනමා ශාලාත් ඇති කළයුතුයි .
අපේ සමහර සිනමාශාලාවන් වළ නිසි පරිදි ,හොඳ තත්ත්වයෙන් චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කරගන්න බැරි තරම් අඩුපාඩු, දුර්වල කම් තිබෙනවා ලූ. වර්ණ , ශබ්ද, රූප නිසිලෙස ප‍්‍රක්ෂේපනය නොවන බව නිර්මාණ කරුවන් කියනවා. ඇත්තටම එයින් පේ‍්‍රක්‍ෂකයාටත්, නිර්මාණ කරුවාටත් අසාධාරණයක් සිද්ධවෙනවා. මෙවැනි දුර්වලතා, අඩුපාඩු රාශියක් මේ සිනමා කර්මාන්තය තුළ තියෙනවා.
මේ සියළු තත්ත්වයන් මගඅරවා අලූත් ක‍්‍රමවේදයක් සකසා ගතයුතුයි මෙය වැඩි දියුණු කොට යලි සිනමාව නගා සිටුවීම සඳහා. ඩිජිටල් සිනමාවක් ගැන මේ වනවිට කතාකරනවා. ඒ ආකාරයෙන් සිනමා ශාලාවන් ප‍්‍රතිසංස්කරණය වුනත් මේ රටේ නිර්මාණ කරුවන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා ඉලක්ක කරගනිමින් පමණක් නිර්මාණ කළොත් පේ‍්‍රක්‍ෂකයන් සිනමාව වෙත ගෙන එන්න ට අපහසුවෙයි.
වර්තමාන සිනමාවේ බොහෝවිට තෝරා ගන්නා ප‍්‍රස්තුත කෙරෙහි පේ‍්‍රක්‍ෂකයන් ඇද බැඳ තබාගන්නට හැකියාවක් නැතිබවක් පේනවා ඔබ මේ සම්බන්ධයෙන් කුමන අදහසකද ඉන්නෙ ?
අපි අපේ මහපෙළව තුළ ජීවත්වන මිනිසුන් පිළිබඳ ඒ මිනිසුන්ට නිර්මාණ කළයුතුයි .දැන් ඉරාණ සිනමාව ගන්න. එහි නිර්මාණය වන නිර්මාණ කොතරම් පේ‍්‍රක්‍ෂකයන් ඇඳ බැඳ තබාගන්නට සමත්වෙලා තිබෙනවාද .පුංචි කතාවක් තුලින් විශාල කතාවක් කියනවා. සිනමා ශාලාවට ගියහම ඒ කතාව සමග පේ‍්‍රක්‍ෂකයන් ඒකාත්මික කරන්නට සමත්වෙනවා. උදාහරණයක් ලෙස "සෙපරේෂන්' කියන චිත‍්‍රපටය ගන්න. එහි කාතතේමාවෙහි මානුෂිකත්වය ගැන සංකීර්ණ තාවන් කතාකරන්නෙ හරිම සරල, සුගම විදිහට. පේ‍්‍රක්‍ෂකයන් වෙහෙසට පත්නොකර .ඇහැක් අහකට ගන්න බැහැ එහි සෑම රූපරාමුවක්ම වගේම දෙබසක්ම එකිනෙකට සම්බන්ධයි. එක තැනක් මගඇරුනොත් එය රසවිදින්න අමාරුයි.
අපේ රටේ වසර ගණනාවක් තිස්සෙ තිබුණ යුද්ධයේ එසන්ස් එක නෙමේ සිනමාව තුළ කතාකරන්නෙ .වෙඩි තබාගන්න , මරාගන්න, ලිංගිකත්වය වැනි කාරණායි. ඒක චිත‍්‍රපටයකට කොයිතරම් අදාලද සහ මානසිකව කොයිතරම් අදාලවිය හැකිද යන්න නැවත හිතන්න පුළුවන්ද? වර්තමාන සිනමාවට ගෙනත් තියෙන්නෙ මතුපිට ස්වභාවයක්. අපේ නිර්මාණ නරඹනකොට පේ‍්‍රක්‍ෂකයන්ට කූල් ඩි‍්‍රන්ක් එකක් බීලා, කාලා- බීලා එන්නත් පුළුවන් .හරියට සිනමාව ටෙලි නාට්‍යක් වගේ .නමුත් හොඳ නිර්මාණයකදි අපිට එහෙම කරන්න බැහැ .එහි හැම රූප රාමුවකම තිබෙන්නෙ සිනමාව .නමුත් අද අපිට එවැනි සිනමාවක් නැහැ.මම ප‍්‍රාර්ථනාකරණවා එවැනි සිනමාවක් නැවත බිහිවේවා කියල.
අපේ සිනමාව පේ‍්‍රක්‍ෂකයන්ට අප‍්‍රබංශ සිනමාවක් වෙලා .ඔවුන් නගන චෝදනාවක් තමා චිත‍්‍රපට තේරෙන්නෙ නැහැ, නිර්මාණ කරුවට පෞද්ගලිකව විඳගන්නට කරණ නිර්මාණ පොදු පේ‍්‍රක්‍ෂකයට සිනමා ශාලාවට එවනවා කියල කියනවා.මේ පේ‍්‍රක්‍ෂක අදහස සම්බන්ධව ඔබ එකගවනවද?
ඇත්තටම සිනමා ව තුළ ප‍්‍රචාරණය කියන කාරණය ගත්තහම කටකතාව තමා ප‍්‍රභල වන්නෙ. සියළුම ප‍්‍රචාරණ කටයුතු වලට වඩා කෙනෙක් කියනවනම් අහවල් චිත‍්‍රපටය ඉතාම හොඳයි කියල ඒ චිත‍්‍රපට ය බලන්න එය අහන කෙනා පෙළඹෙනවා. මේ වගේ කටින් කට යන ප‍්‍රචාරණය හරිම වැදගත්.පේ‍්‍රක්‍ෂකයන් ඔබ ප‍්‍රකාශ කරන ආකාරයෙන් නිර්මාණයක් පිළිබඳව ප‍්‍රකාශ කරනවනම් ඒක ඒ තරම් යහපත් නැහැ .
අපි කැමති සිනමා නිළියක්, නළුවෙක් ඉන්න චිත‍්‍රපටයක් බලන්න අපි පුරුදු වෙලා තියෙනවා .එහෙම නැත්තම් කැමති අධ්‍යක්‍ෂවරයගෙ නිර්මාණයක් නම් අපි ඒ චිත‍්‍රපටය බලන්න යනවා .ගාමිනී ෆොන්සේකගෙ චිත‍්‍රපටයක් බලන්න එන මිනිස්සු ඒකෙ ගාමිනී හොඳට රගපාලා තියෙනවා කිව්වොත් ඒක කටින් කට ගිහිල්ලා චිත‍්‍රපටය බලන්න එයි .ඒ වගේම එය හොඳ නැහැ කියල කිව්වොත් මිනිස්සු එනනෙ නැහැ.
මම උදාහරණයක් කියන්නම් .මම කැමතිම නිළියක් තමා මෙරිල් සටි‍්‍රප් කියන්නෙ. ඇය "මමා මියා" කියල මීට වසර කිහිපයකට පෙර රගපෑ චිත‍්‍රපටයක් ආවා. එය ඇය රගපෑ අනෙකුත් චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් .නමුත් ඇය එහි කර තිබූ රංගනය විශිෂ්ටයි. ඇය එම චිත‍්‍රපටයෙ සියලූම ගීත පවා ගායනා කළා. එය විනෝදාත්මකයි, රසවත්. ඒ තුළ කතාවක් තිබුණා. එන්ටර්ටේනින් කියනදේ තිබුණා. මම ලේසියෙන් චිත‍්‍රපටයක්වත් දෙපාරක් බලන කෙනෙක් නෙමේ. නමුත් මම ඒ චිත‍්‍රපටය තුන්පාරක් බැලූවා. ඒ වගේම මා එකළ වැඩ කළ රාජ්‍ය නොවන ආයතනයේ 29 දෙනෙකු පමණ පිරිසක් රැගෙන ඒ චිත‍්‍රපටය බලන්න ගියා . ඒකෙ මරා ගන්න දේවල්, සෙක්ස් දර්ශන තිබුනෙ නැහැ .එය මවකගෙයි, දියණියකගෙයි වටා කියැවෙන කතාවක් මෙරිල් වැනි රංගන ශිල්පිණියක් එවැනි චරිතයක් තොරාගැනීම ඇයටම අභියෝගයක් වන්නට ඇති .ඒ රංගණය පේ‍්‍රක්‍ෂකයෙක් හැටියට මම රසවින්ඳා.
කොහෙමවුනත් අපේ සිනමාවෙන් පේ‍්‍රක්‍ෂකයො ඈත්වෙලා .නිර්මාණ පිලිබඳ අර්භූදයන් තියෙනවා. අපි රංගන ශිල්පිණියන් හැටියට ඉපැදිලා ඉන්නෙ වැරදි රටක කියල මට හිතෙනවා .
ඉන්දියාවෙ අමිතාබ් ට මෙරිල් සටි‍්‍රප්ට තවමත් චිත‍්‍රපට ලැබෙනවා රගපාන්න .ඔවුන් මැරෙනකම්ම චිත‍්‍රපට වල රගපානවා. ඒත් අපේ රටේ මම අවුරුදු 18ක් රගපාලා නැහැ. අනෝජා අවුරුදු 15ක් රගපාලා නැහැ. අවස්ථාව නොලැබුණා නෙමේ. තිර නාටක ලැබිලා තියෙනවා. අනෝජට මට වඩා ලැබෙන්න ඇති .නමුත් ඒවා කියෙව්වහම එක්සයිට්මන්ට් එකක් නැහැ. අධ්‍යක්‍ෂකවරයෙකු තිරපිටපත ගැන මා සමග කරණ සංවාදය සාකච්ජාව මට ඉතා වැදගත්. ඒ තුළින් ඔහුට අවශ්‍ය චරිතය මා සිතතුළ නිර්මාණය වනවා. එය තමා මම ඉදිරිපත් කරන්නෙ .නමුත් අද එහෙම පිටපත් චරිත නැහැ .
අද හැම දෙයක්ම මතු පිටින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නෙ .වෙළඳාමක් බවට පත්වුණ ලක්‍ෂණ තමා පේන්නෙ . මේ සියල්ල තමා අවසානයේ පේ‍්‍රක්‍ෂකයන් වෙතට එන්නෙ. එතෙන්දි ඔවුන් ගෙ මැදිහත්වීම, සහභාගීත්වය සිදුනොවන්නෙ ඔවුන්ටත් අපට දැනෙන දේම දැනෙන නිසා වෙන්න පුළුවන් .
ඔබ රගපෑම සඳහා යම් යම් කොන්දෙසි පනවගෙන තිබෙනවද? මේ චරිත රගපානවා මේවා රගපාන්නෙ නැහැ කියල?
නැහැ. මම එහෙම කොන්දේසි පනවගෙන නැහැ. ඒ කාලෙ සිනමාවෙ කළු චරිත කියල කියන ඒවා රගපාලා ප්‍රෙක්‍ෂකයන් සහ ජනතාව අතර ජනප‍්‍රිය වෙන්න බැහැ නිළියකට .නමුත් මම එවැනි චරිත රගපාලා පේ‍්‍රක්‍ෂකයන් අතර ට ,ජනතාව අතර ට ගිහින් තියෙනවා. "හංස විලක්" "සුද්දිලගෙ කතාව" එවැනි චරිතයක් ලෙසයි එදා බොහෝ අය හඳුන්වා තිබුණෙ .නමුත් ඒ චරිත සහ චිත‍්‍රපට ගැන අදටත් බොහෝ අය කතා කරනවා. මට හොඳ චරිතයක් ලැබුනොත් රගපානවා. ඒක ට මගේ හිත තුළ කැමැත්තක් ඇතිවිය යුතුයි. වගේම හොඳ තිරපිටපත ක් වගේම, අධ්‍යක්‍ෂවරයාත් ගැලපෙන කෙනෙකු විය යුතුයි .මම අලූත් අයගෙ ප‍්‍රථම සිනමා නිර්මාණවලට දායක වෙලා තිබෙනවා .
වර්තමාන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් සම්බන්ධව ප‍්‍රවීන රංගන වේදිනියක් ලෙස ඔබේ දැක්ම කොයි වගේද?
අද හුගක් දක්‍ෂ අය ඉන්නවා .සියයට අනූවකට පමණ අද ඉන්න අයට රගපෑමේ කුශලතාව තිබෙනවා.නමුත් ඒඅයට හොඳ තිරනාටක හම්බවෙන්නෙ නැහැ. හොඳ අධ්‍යක්‍ෂවරු නැහැ. අධ්‍යක්‍ෂ වරයෙකු තමන්ගේ නිර්මානයට අළුත් කෙනෙක් තෝර ගත්තහම ඒ කෙනාට ඊට පසුව තවත් නිර්මාණයකට දායක වන්නට හම්බවෙන්නෙ නැති තරම්. අපේ කාලෙ එහෙම නෙමේ. අපි හොඳින් රගපෑම් කළ විට අපිට තවත් නිර්මාණ සඳහා දායකවන්ට ආරාධනා ලැබෙනවා. මට ජීවිතයේ එකම එක සිනමා අධ්‍යක්‍ෂවරයෙකු සමග පමණයි ඒ කාලෙ රගපාන්න අවස්ථාව මගඇරුනෙ .ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්.එදා අපිට කැමති චිත‍්‍රපටයක් විතරක් තෝරාගෙන බේරාගෙන රගපාන්න තරම් චිත‍්‍රපට තිබුනා. නමුත් අද සමහර විට හොඳ හෝ නරක හෝ කියල තොර බේර ගන්න තරම් සිනමාවක් තිබෙනවද කියන එක ප‍්‍රශ්නයක්. අද අවස්ථාවක් නැහැ .එදා අපි අවස්ථාව තෝරගත්තා. අද එක චිත‍්‍රපටයක් රගපාලා තවත් චිත‍්‍රපටයක රගපාන්න අවස්ථාවක් ලැබෙයි ද ?නැද්ද කියලා මේ වර්තමාන පරම්පරාවට බලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ කාලෙ මාලිනී, රවී, සනත්, ශ‍්‍රියානි, සුමනා ,ගාමිනී ,ගීතා, සබීතා, කොයි තරම් චිත‍්‍රපටවල රගපෑවද? සිය ගණන් රගපාලා තියෙනවා.මම ඒ තරම් රගපාලා නැහැ.මම හිතන්නෙ චිත‍්‍රපට 60කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි මම සම්බන්ධවෙලා තිබෙන්නෙ .නමුත් ඒ කාලෙ එයාලට හරියට චිත‍්‍රපට තිබුණ ඒ අයට රගපාන්න. නමුත් අද අයට එහෙම නැහැ .
ලංකවේ තාරකාවන් බිහිවීමේ යුගය ඉවරයි කියල ඔබ හිතනවද ?
රුක්මණී දේවී අපේ සිනමා ඉතිහාසයේ ප‍්‍රථම රංගන ශිල්පිණිය.එයා ප‍්‍රථමයෙන් සිනමාවට පැමිණියාට පසු ඇයට රගපාන්න විශාල ඉල්ලූමක් තිබුණා. ඇය ට තිබුණ ජනතා ආකර්ශණය අති විශාලයි. ඇය සිනමා තරුවක්. ඒ කාලේ ඇය ව දකින්න සෙනග හිටියළු ඇගේ ගේ ඉදිරිපසට වෙලා ඇය බැල්කනියට එනකම්. ඒ අය නිතරම මිනිස්සුන්ගෙ ඇහැ ගැටෙන්න පැමිණියේ නැහැ.
ඒ කාලෙ අද වගේ පත්තර, රූපවාහිනිය තිබුනෙ නැහැ. පත්තර විතරයි තිබුනෙ. ඒ වගේම විශාල දැන්වීම් පුවරු තිබුණා නගර ආශී‍්‍රතව .ඉස්සර අපි පාසල් යන කාලෙ සිනමාව ,කලාව ගැන දැනගන්න පුවත්පත් කිහිපයක්ම තිබුණ.මට මතකයි සිකුරාදා වෙනකම් බලන් ඉන්නවා "විසිතුර" කියලා සිනමා කලා පුවත්පතක් පිටවෙනකම්. කව්ද? මොනවද?අලූතෙන් එන නිර්මාණ කියල දැනගන්න. මුහුරත් උළෙලවල් ගැන සඳහන් කරනවා .ඒත් ප‍්‍රධාන නිළිය නළුවා රහසක් හැටියට තියලා පාඨකයන්ගෙ කුතුහලය ඇති කරනවා.
එදත් සරසවිය පුවත්පත තිබුණ .අදවෙනකනුත් තියෙනවා. එක අතකින් සතුටු වෙන්න ඕනෙ ඒක මේ තාක් පවත්වාගෙන එන එක ගැන.අද සරසවිය සිනමාව ගැන නෙමේ,ටෙලි නාට්‍ය ගැනයි,හින්දි සිනමාව ගැනයි කතා කරන්නෙ. ඉස්සර මෙවැනි කලාපුවත්පත් තුලින් පාඨකයන්ට, සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට සිනමාව මගින් දීපු ඒ කුතුහලය,තිගැස්ම, රසවින්දනය අද සිනමාව තුළ දකින්න නැහැ.ඒ වගේම මාධය තුළත් දකින්න නැහැ.ඉස්සර නළු නිළියන් දැක ගන්න පේ‍්‍රක්‍ෂකයන් තුළ තිබුනෙ විශාල ප‍්‍රබෝධයක්. ඒ නිසා මිනිස්සු ඒ අයව දැක ගන්න කුතුහලයකින් ,කැමැත්තකින් හිටියා. මම හිතනවා රුක්මණී සැබෑ සිනමා තාරකාවක්. මම කියන්නෙ නැහැ මම තරුවක් කියල. මම වෘත්තීය රංගන ශිල්පිණියක් පමණයි. මම ඒ කට කැමතියි. මට තරුවක් ලෙස හැසිරෙන්න අවබෝධයක් නැහැ.
ඕනෑම කලා කරුවෙකුට මාධ්‍ය අතිශය වැදගත් සන්නිවේදන සහකරුවෙක් ඔබේ අදහස කුමක්ද මේ මාධ්‍ය සහයෝගය පිළිබඳ?
මාධ්‍ය මගින් මට කවදාහෝ ඔටුනු පළන්දලා නැහැ. මුල්කාලයේ මාධ්‍ය මගේ ගැන ලිව්වනම් ලිව්වෙ නොලියා බැරි කමට. මගේ ගැන නොලිව්වොත්, මිනිස්සු ස්වර්ණා ගැන ඇයි නොලියන්නෙ කියන චෝදනාව ට ලක්වෙයි කියන කාරණය නිසා මගේ ගැන ලියලා තියෙනවා. අද වෙනකොට මේ තත්තවය වෙනස්වෙලා කියල හුගක් අය කියනවා .
අද පෞද්ගලික හිතවත්කම් තියෙන්න ඕනෙ, කන්න බොන්න දීලා හිතවත්කම් ඇති වෙන්න ඕනෙ කියල එයා ගැන ලියන්න ,පින්තූර දාන්න ,නිර්මාණයක් ගැන ලියන්න. මට ඒක අහල පුදුම හිතුනා. නමුත් හැම මාධ්‍ය වේදියෙක්ම එහෙම නොවන බව මා සියයට සියයක්ම විශ්වාස කරණවා. මම සිනමාව වෙත දුන්න දේවල් මේ රටේ ජනතාව අගය කරණු ලැබුවා සහ තවමත් අගය කරනවා. පසුගිය කාලයේ මෙරිල් ස්ටි‍්‍රප් 'අයන් ලේඩි" කියන චිත‍්‍රපටයේ අති විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරලා තිබුණ. අපේ වගේ නෙමේ එංගලන්තය වැනි රටවල් වල විචාරකයන් සෘජු ලෙස, බය නැතුව විචාර කරනවා. ඔවුන් කොයි තරම් දැන හඳුනගෙන හිටියත් හිතවත්කමට දේවල් ලියන්නෙ නැහැ .මෙරිල් ගෙ එම "අයන් ලේඩි" හි කළ රංගනය වෙනුවෙන් එක් විචාරකයෙක් පවසා තිබුණා "ත‍්‍රී ස්ටාර්" චිත‍්‍රපටයක "ෆයිව් ස්ටාර්' රංගනයක් ඇය කරලා තියෙනවා කියල. ඉස්සර ජයවිලාල් විලේගොඩ, ගාමිනී විජේතුංග, සිරිල්. බී .පෙරේරා වැනි හොඳ විචාරකයො හිටියා . අපි ඔවුන්ව පෞද්ගලිකව දැන හඳුනගෙන හිටියෙ නැහැ .අපි කළ රංගනය ගැන ඔවුන් විචාරය කළා. නමුත් අද වනවිට මාධ්‍ය තුළ එවැනි යහපත් විචාර කලාවක් වෙනුවෙන් ඉඩක් තියෙනවද ? මම වර්තමානයේ ටෙලිවිෂන් ආයතනවලට ස්තුති කරනවා අපේ පරණ සිනමා නිර්මාණ නැවතත් වර්තමාන පරම්පරාවට දකින්නට ඉඩ ලබා දීම සම්බන්ධව .එයින් වර්තමාන පරම්පරාව හොඳ සිනමාවක් රසවිඳින්න පෙළඹෙනවා.
ඔබ සම්මානණීය රංගණ ශිල්පිණියක් .අන්තර්ජාතික මට්ටමෙන් ඔබ ට සම්මාන ලැබීමට තිබූ අවස්ථාවක් ගිලිහිලා ගිහින් තිබුණා නේද?
ඉස්සර අන්තර්ජාතික චිත‍්‍රපට සම්මාන උළෙලවල් කියල තිබුනෙ බොහොම සුළු ප‍්‍රමාණයක් විතරයි .ලංකාවෙන් ඒ චිත‍්‍රපට සම්මාන උළෙලවල්වලට චිත‍්‍රපට ගියොත් අඩුවෙන් .
ඔබ රගපෑ "දඩයම"එවැනි සම්මාන උළෙලක් සඳහා නියෝජනය කළා නේද?
ඔව්.දිල්ලි සිනමා උළෙල සඳහා ඉදිරිපත් කරලා තිබුණා .එහිදී මාව හොඳම රංගන ශිල්පිණිය උදෙසා නිර්දේශ වෙලා තිබුණා .නමුත් මට සම්මානය නොලැබෙන්නෙ ඉන්දියාව සහ රුසියාව අතර තිබූ යම් රාජ්‍යතාන්ත‍්‍රික දේශපාලන කාරණයක් මතයි. එහිදී සම්මානය ලැබෙන්නෙ රුසියානු රංගන ශිල්පිණියකට. ඒ දෙරට අතර හොඳ හිත වර්ධනය කරගන්න අවස්ථාවක් කරගන්න මට පරිත්‍යාගයක් කරන්න වෙලා තිබුණ.ඒක මම නෙමේ කියන්නෙ.අදූර් ගෝපාල් ක‍්‍රිෂ්නන් නැමැති ඉන්දියාවේ ප‍්‍රවීණ අධ්‍යක්‍ෂකවරයා, ලංකාවට ආ මොහොතක සිනමා සම්මන්ත‍්‍රණයකදී පවසා තිබෙනවා, "ඒ සම්මානය ස්වර්ණගෙයි "කියල .එය සරසවිය පුවත්පතේ පළවී තිබුණා .
ලෙස්ටර් ජේම්ස් පීරිස් තාම පශ්චාත්තාප වෙනවා මාව ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න බැරිවීම ගැන.හැබැයි මාව එයාගෙ චිත‍්‍රපටයකට ගත්තට වැඩිය එයාගෙ පශ්චාත්තාපය මට විශාලයි .මොකද එයා අදටත් ඒ ගැන කනගාටුවෙනවා. ඒක මට හුගක් වටිනවා .ඒ වගේ තමා මට ලැබෙන්න තිබූ සම්මානය රටවල් දෙකක් අතර ඇතිව තිබූ රාජ්‍යතාන්ත‍්‍රික දේශපාලනමය කාරණයක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න වීමත් සම්මානය ලැබුණට වඩා විශාලයි. මම දැනගෙන හිටියෙ නැහැ මට සම්මානයක් තිබුණ කියල. පසුවයි එය මා දැනගත්තෙ. කොහෙමවුනත් ඒ කාලෙ එවැනි සම්මානයක් කෙනෙකුට ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්. එයට විශාල වටිනාකමක් තිබුණ. මට එය නොලැබුනා කියල පසුතැවිල්ලක් දුකක් මට කවදාවත් ඇතිවෙලා නැහැ.
මගේ රටේ අය, අදූර් ගෝපාල් කි‍්‍රෂ්නන් , සත්‍යජිත් රායි ,මිර්නාල් සෙන් වැනි සිනමා නිර්මාණ කරුවන් වගේ අය මගේ රංගනයන් සම්බන්ධව කරණු ලැබූ අදහස්, ප‍්‍රකාශ මට වටිනවා .මට මතකයි 'අනන්ත රාත‍්‍රිය' ජපානයේ ෆුකෝකා සිනමා උළෙලට ගිය කාලෙ, මමත් ප‍්‍රසන්න සමග එහි ගියා .එහිදී ජපානයේ සහ ලෝකයේම ප‍්‍රසිද්ධ ප‍්‍රවීණ විචාරකයෙකු වු "ඩොනල්ඞ් රිචී" මගේ රගපෑම් සම්බන්ධයෙන් ලියලා තිබුනා "ඔබ දුර්ලභ ගනයේ රංගන ශිල්පිණියක් සහ ඔබේ රගපෑම් විශිෂ්ඨයි" කියලා. ඩොනල්ඞ් රිචී එසේ ලියූ සටහන මා නැවතී සිටි කාමරයේ දොර අස්සෙන් දාලා තිබුණා. මම එවැනි දේ පිළිබඳ සතුටු වෙනවා . ඒවත් සම්මාන වගේ තමා.
ලංකවෙ අදටත් සිනමා පේ‍්‍රක්‍ෂකයන් "දඩයම" වැනි මා කළ රංගනයන් ගැන කතා කරනවා. ඔවුන් ඒ වා අගය කරණවා. ඉතින් තව මොනවද? මිනිස්සුන්ට තාමත් අපි ව මතකයි. අපි කළ රංගනයන් මතකයි .අවුරුදු 18ක් චිත‍්‍රපටයක රග නොපෑවත් බුද්ධිමත් පේ‍්‍රක්‍ෂකයන්ගෙන් වගේම ,වර්තමාන කලා ක්‍ෂෙත‍්‍රයේ ඉන්න තරුණ රංගන ශිල්පීන් ශිල්පිණියන්ගෙනුත් මට ලැබෙන ආදරය සහ ඔවුන්ගෙ මනසෙ මගේ රංගනය පිළිබඳ ඇති මතකය පිලිබඳ මට සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
අපේ රටේ හුගක් කලාකරුවන් වෙනුවෙන් උපහාර උළෙලවල් සංවිධානය කරණවාඔහු හෝ ඇය කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගය කරන්න කියල. ස්වර්ණා මල්ලවආරච්චි වෙනුවෙන් උපහාර උළෙලක් කරනවට කැමතිද?
ඇයි මම එහෙම දේවල් වළට එකග නොවන්නෙ. මම මෙහෙම හිතනව .මම ඉන්නෙ අනාගත පරපුරේ කොටසක් එක්කයි. අපි යම් දෙයක් කරලා තියෙනවනම් අනාගත පරපුර අපි ගැන කතා කරයි.ඒ වගේම ශ්‍රේෂ්ඨත්වයට පත්වූ අය දේවල් කරලා තියෙන්නෙ එසේ ශ්‍රේෂ්ඨ වීමේ අරමුණ පෙරදැරිව නෙමේ. ඔවුන්ව එතැනට ගෙනත් තියෙන්නෙ ඔවුන්ට පසුව ඉපැදුන අලූත් පරම්පරාව විසින්.ඔවුන් එදා කළ දේ ඊගාව පරම්පරා ගණනාවකගෙ ඇගයුමට. ගෞරවයට. සම්භාවනාවට පාත‍්‍රවෙනවා. අපි යම් දෙයක් කළා නම් ඒ සම්බන්ධව අපිට පසු පරම්පරාව අගය කරයි. ඒ ගැන කතා කරයි .අපි කරන දේ හරියට වගකීමක් , අවබෝධයක්. විනයක් ඇතුව කරනවනම් ශේෂ්ඨයකුවීම කිසිවකුට නැවතිය නොහැකියි. එය ඉතිහාසය තුළ ඉතිරිවෙයි .
ඒ වගේම අනාගත පරපුර තීරණය කරයි ඔහු හෝ ඇය ශේෂ්ඨයි කියල. ඉතින් ප‍්‍රනාම උළෙලවල් පවත්වා ගැනීම, එක එක අය පසුපස ගිහින් මේ සඳහා අනුග‍්‍රහ ලබාගන්න, මාධයවල කතා පවත්වන්න, මම ඒවා කරන්න යන්නෙ නැහැ .මම යමක් කරල තියෙනවනම් ඒ වෙනස ගැන කතා කරයි නේද? මම පසෙකට ගිහින් මා කර තිබෙන රංගනය සහ දේවල් දිහා නැවත බලනවිට මට දැනෙනවා මම සිනමා රංගනයෙ යම් වෙනසක් කරලා තියෙනවා කියල .
මම කොට්න් සාරි ඇන්දා උත්සව වලට. මට මතකයි පත්තරේක ලියලා තිබුනා නිළියක් ප‍්‍රථම වතාවට සම්මාන උළෙලකට කොට්න් සාරියක් ඇඳන් සම්මාන ගන්න ඇවිත් තිබුණ කියල. මම "දඩයම" චිත‍්‍රපටයෙ සම්මාන ගන්න වේදිකාවට නැග්ගෙ ඒ කාලෙ ඉන්දියාවේ රුපියල් 140ට තිබ්බ කොට්න් සාරි එකක් ඇඳන්.
මම මාව සතුටු කරගන්න එවැනි දේවල් කරා මිසක්, කාවවත් සතුටු කරන්න කළා නෙමේ. මම විනයක් හදාගෙන තිබුණ බොහෝ කාලයක සිට රංගන ශිල්පිණියක් හැටියට ගැහැනියක් හැටියට. මම කරපු යම් ප‍්‍රකාශ ගැනත් සමහරු කතා කළා. මට මතකයි මම "බවදුක" චිත‍්‍රපටයට සම්මාන අරගෙන ප‍්‍රකාශ කළා "ධර්මසිරිගෙන් මට සම්මාන තුනක් ලිබිලා තියෙනවා, ඒ "හංසවිලක්", "බවදුක" සහ "මගේ දුව" කියලා. ඒ ගැන බොහෝ අය කතාකළා .සමහරු මගෙන් අහුවා .මම ඒක පෙරසූදානමකින් ප‍්‍රකාශ කළ දෙයක් නෙමේ. ඒ මෙහොතෙ ක්‍ෂණීකව ආ හැගීමක් ප‍්‍රකාශ කළා විණා මට සම්මානයක් තිබුණාදැයි පවා මා දැන සිටියේ නැහැ .
ඔබේ දියණිය ලංකාවෙ නැහැ ඇය තවමත් අධ්‍යාපන කටයුතු කරනවාද?
ඇය කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා උපාධිය අරගෙන කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයේම මාස්ටර්ස් කළා. ඇය දැන් එහේ රැකියාවක් කරණවා ව්‍යාපාර කළමාණාකරණ ක්‍ෂෙත‍්‍රයේ . ඇය වසර දොළහක් එංගලන්තයේ අධයාපන කටයුතු වල නියැලෙමින් රැකියාව කරනවා. ඇයට හොඳට සිංහල කතාකරන්න පුළුවන් ඉංගී‍්‍රසි උච්චාරණයක් නැතුව .
මම ඇය පිළිබඳව ආඩම්බර වෙනවා .අපි දරුවන්ව ඕනෙ වට වඩා නිදහස සීමා කරලා සැර වැර කරලා හදන්න හොඳ නෑ. මේ සමාජය ඉස්සර වගේ නෙමේ ජරා වෙලා. ඒ නිසා හොඳ අවබෝධයක් දරුවට ඇති කළ යුතුයි ,මග පෙන්වීමක් කරන්න ඕනෙ. එතැන් සිට එයාගෙ බුද්ධියෙන් එයා ගමන යනවා .මගේ දුව හොඳ චිත‍්‍රපට බලනවා, පොත් කියවනවා ,එයගෙ තාත්තත් එක්ක චිත‍්‍රපට ගැන කතාකරනවා.
මට මතකයි කදිරගාමර් අමාත්‍යවරයා කියල තිබුණා "අපි නිවසේදී හොඳ කේක් එකක් නිසි පදමට, නිසි මිශ‍්‍රණයකින් යුතුව බේකරියට ඇරියොත් තමා අපිට හොඳ කේක් එකක් කන්න පුළුවන්වෙන්නෙ කියලා" ඔහු ඒ තුළින් කියනනෙ හැදියාව ඇති කරන්න පුළුවන්වෙන්නේ තමන්ගේ ගේ ඇතුළෙන්ම කියන එකයි. ඉතින් මගේ දරුවා අද ඉන්න පිළිවෙල තැන වගේම ඇයගේ හැදියාව ගැනත් මම ඇත්තෙන්ම ආඩම්බරයි .
ඇයගේ විවාහය ගැන ඔබේ අදහස කොයි වගේද?
ඇයට කැමති ඕනෑම කෙනෙකු සමග ඇයට විවාහ වීමට නිදහස තියෙනවා . එයා කිව්වොත් අම්මා මට මෙයා බඳින්න කැමතියි කියල, ජාතිය, ආගම, වර්ණය, කුලය, භාෂාව පිළිබඳ මම සොයන්නෙ නැහැ. ඇය තීරණය කරාවී ඇය ට ගැලපෙන පුද්ගලයා කව්ද කියල.
ස්වර්ණා මල්ලවආරච්චි හැදුනෙ කොහොමද?
ස්වර්ණා මල්ලවආරච්චි හැදුනෙ ගිය ආත්මයෙන් ආව දෙයක් අනුව. පුංචි කාලෙ ඉඳලා මම දැණුනා මම වෙනස් කෙනෙක් කියලා. ඒ අවබෝධයත්, පොත්පත් කියැවීමට තිබූ අධික ආශාවත් මාව මේ තැනට ගෙනාවා. ස්වර්ණා මල්ලවආරච්චි කැළේ හැදුන පුංචි ගහක්. ඉර එළිය හොයාගෙන ගිහින්, අතු පතර විහිදුවා අනෙක් අයට සෙවන දෙන ගහක්. මම මා විසින් සොයා ගන්නා ලදී. මම තාමත් හොයනවා, ආත්මයෙන් ආත්මයට අපි හැමෝම අපිව හොයනවා .
ස්වර්ණා මල්ලවආරච්චි සමග වූ මේ සංවාදය මේ වසරේ මුල් භාගයේ කරණ ලද්දකි .මෙය මිරර් ආර්ට්ස් හි දෙවන සංස්කරණයක් ලෙස මෙවර පළවේ .
සාකච්ජා සටහන - මනෝහාරී හේවාවසම්
0 comments:
Post a Comment