Home » , » Chat With sanath wimalasiri

Chat With sanath wimalasiri

කාටවත් කරදරයක් වෙන්න මං ජීවත්වෙන්නේ නෑ

    අලුත් රංගන කටයුතු එහෙම කොහොමද?
රංගන කටයුතු හොඳින් කෙරීගෙන යනවා. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක් රූගත කරනවා. ඒකෙ නම 'ඡායා.' සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයෙන් නිල්වලා අධිපති උපුල් ජයසිංහගේ නිෂ්පාදනයක් විදියටයි මෙය එන්නේ. ඒ ටෙලිනාට්‍යයේ රංගන කටයුතුත් සමඟ ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ 'පබාවතී' නාට්‍යයේ නව නිෂ්පාදනය ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය විසින් ආරම්භ කරලා තියෙනවා. ඒ නිර්මාණයටත් මම රංගනයෙන් දායක වෙනවා.


     ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය විෂයයන් දෙකටම රංගනයෙන් දායක වන කලාකරුවෙක් හැටියට ඒ අතර දකින වෙනස මොකක්ද?

ලොකු වෙනසක් තියෙනවා. වේදිකාව කියන්නෙ ප්‍රේක්ෂකයන් සමඟ සජීවීව කරන දෙයක්. ඒක උත්තරීතරයි. අපේ රංගනය පිළිබඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ මොහොතේදීම දැන ගන්න පුළුවන්. වේදිකාවේ බොරු මවාපෑම් කරන්න බෑ. කරන දෙය වගකීමෙන් හරියටම කරන්න ඕන. වැරැදුනොත් වැරැදුණාමයි. නමුත් ටෙලිනාට්‍ය සජීවී මාධ්‍යයක් නොවෙයි. දෙයක් වැරැදුනොත් ඒ දර්ශනය කපා හැරලා එය නිවැරැදි කරලා ප්‍රේක්ෂකයන්ට ලබාදීමේ හැකියාවක් ටෙලි නාට්‍ය රංගනය තුළ තියෙනවා. වේදිකා නාට්‍ය රංගනයකදි ප්‍රේක්ෂකයන් සියල්ලටම ඇහෙන්න ගයන්න ඕනෙ. නමුත් ටෙලි නාට්‍ය, චිත්‍රපට ගායනයකදී වෙනත් හඬකට කට සෙලවීමක් පමණයි රංගන ශිල්පියා කළ යුත්තේ. ඒ දෙක අතර වෙනස සරලවමයි මම ඒ කිව්වේ.



     නූර්ති ගීත ගායනයටත් ඔබ දක්ෂයි කියලා ආරංචියි ඒක ඇත්තද?
ඔව්. ගායනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි. මම සංගීතය හැදෑරුවේ මාතලේ සරසවි කලායතනයෙන්. එම්.ජී. සුගතදාස සූරීන්ගෙන්. එතුමාට පින් සිදුවෙන්න මම ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. උපාධිය දක්වාම මම සංගීතය විෂයයක් ලෙස හැදෑරුවේ එතුමාගෙන්. රංගනයට වගේම මම කුඩා කාලෙ සිටම නූර්ති නාඩගම්වලටත් කැමැති වුණා. මේ දිනවල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රඟහල පදනම මඟින් නූර්ති ගී සංරක්ෂණ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිනවා. එම නූර්ති ගී සංරක්‍ෂණ තැටිවලට මමත් නූර්ති ගීත ගායනයෙන් ඉදිරිපත් වුණා.



    ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට එන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. නිෂ්පාදකවරුත් ඉන්නවා. නමුත් හොඳ පිටපතක් නැති අඩුවක් තිබෙනවා. අයාලේ යන්නන් වාලේ ටෙලි නාට්‍ය කරන්න මගේ අදහසක් නෑ. හොඳ පිටපතක් ලැබුණු දවසක මම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට ප්‍රවිෂ්ට වෙනවා.



    හොඳ පිටපතක් කියන එකෙන් අදහස් කරන්නේ 'සම්භාව්‍ය' පිටපතක්ද?
හොඳ තිර පිටපතක් කියන එකෙන් අදහස් කරන්නේ සම්භාව්‍ය කියන එකම නෙවෙයි. ඇතැම් අලුත් නිර්මාණ තිබෙනවා ඉතාමත්ම විශිෂ්ට ගණයේ ඒවා. මම හොයන පිටපතේ සම්භාව්‍යත්වය තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. හැබැයි එමඟින් සාර්ථක නිර්මාණයක් බිහි වේවි.



    මෙගා ටෙලි නාට්‍ය කලාව ගැන බොහෝ දෙනෙක් අතර දුර්මත තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම මම මෙගා ටෙලි නාට්‍යවල සෑහෙන්න රඟපෑවා. සිහින පියාපත්, ඉතිං ඊට පස්සේ වැනි නිර්මාණ සම්මානවලට පවා පාත්‍ර වුණා. මම කියන්නෙ නෑ මම රංගනයෙන් දායක වුණ නිර්මාණ සුපිරියි කියලා. ඒ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට ගිය නිසයි සම්මාන පවා ලැබුවේ. කරන්නං වාලෙ කරන මෙගා නාට්‍යත් තියෙනවා. ඒ නරක දේ නිසා හොඳ නිර්මාණත් එතැනට වැටිලා. ටෙලි නාට්‍යයක දිග කොට බව නෙවෙයි ගුණාත්මක බවයි වටින්නේ. සමාජ ව්‍යසනයක් නැතිව ප්‍රේක්ෂක හදවත් තුළ ප්‍රහර්ෂයක් ඇති කරන්න පුළුවන් නම් එතැන හොඳ නිර්මාණයක් තියෙනවා.



    රංගන ක්‍ෂේත්‍රයට අමතරව වෘත්තීමය තොරතුරු මොනවද?

මම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සේවය කළේ. එයින් ඉල්ලා අස්වෙලා මහරගම විද්‍යාකර බාලිකාවට ස්ථාන මාරුවක් ගත්තා. මෙවර පළාත් සභාවෙ පාසලකට ආ නිසා සභාවත් සමඟ එක්වෙලා සමාජයට ලොකු වැඩක් කරන්න මම හිතනවා.
ඊට අමතරව අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුවක් විදියට මම 'ඉබඥන භන' ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනියක් ඇරැඹුවා. ඒබධඛ ඉවෙන්ට් සංවිධානය කරනවා. මේ වනවිට ඉවෙන්ට් ගොඩක් කරන්න පුළුවන් වුණා. එමඟිනුත් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.



    අනාගතේ උසස් තනතුරක් ලැබෙන්න යනව කියලා ආරංචියි? ඇත්තද?
කොහොමද දැන ගත්තේ? ආ... ඔව්. පසුගිය වසරේ අධ්‍යාපන පරිපාලන සේවයේ තරග විභාගයෙන් මම සමත් වුණා. මං ඇතුළුව තවත් කිහිප දෙනෙක් ඒ ලැයිස්තුවෙ ඉන්නවා. මේ වසරෙදි ඒ පත්වීම මට ලැබෙයි.



     පෞද්ගලික ජීවිතේදී සනත් විමලසිරි කියන්නේ කවුද?

කාටවත් ඇඟිල්ලක් දික් කරලා වරදක් පෙන්නා දෙන්න බැරි තැනක මං ජීවත් වෙනවා. මගේ අම්මයි අප්පච්චියි අපිට සමාජයේ ඉන්න ඕන තැන හොඳට කියා දුන්නා. ඒ දෙන්නට පින්සිදු වෙන්න අද මම කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති තැනක ජීවත් වෙනවා. අම්මයි, අප්පච්චියි ගුරු උපදේශකවරු විදියට සේවය කරලා දැන් විශ්‍රාමිකව කටයුතු කරනවා. ඔවුන් කළ සේවය ඇගැයීමට ලක්කරලා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයෙන් සම්මානයක් පවා ඔවුන් දෙපොළට හිමි වුණා.
මගේ බිරියට හොඳ සැමියකු විදියටත්, මගේ සහෝදරයට හොඳ සොහොයුරකු විදියටත්, මගේ දියණියන් දෙදෙනාට හොඳ පියකු විදියටත් මම පෞද්ගලික ජීවිතයේ පුදුම තරම් සතුටක් විඳිනවා.



     කලා ක්‍ෂේත්‍රයට අලුතින් එක්වෙන අය ගැන මොනවද කියන්න තියෙන්නෙ?

කලා ක්‍ෂේත්‍රය කියන්නේ උත්තරීතර තැනක්. ඒ ක්‍ෂේත්‍රයේ රැඳී සිටිනව නම් නිවැරැදි අවබෝධයක් සහ ඒ පිළිබඳ ආදරයක් තිබිය යුතුයි. අද ගොඩක් නවක නළු නිළියෝ අවුල් ජාලාවක පැටලිලා. නිසි අධ්‍යයනයකින් තොරව ක්‍ෂේත්‍රයට ආවමයි එහෙම වෙන්නේ. ඒ නිසා මං නවකයන්ගෙන් ඉල්ලන්නේ මේ ක්‍ෂේත්‍රයට එනවනම් නිසි අධ්‍යයනයක නිරත වෙලා එන්න. ක්‍ෂේත්‍රයට ආදරය කරන්න. එසේ කළොත් කලා ක්‍ෂේත්‍රයයි රංගන ශිල්පයයි රැකේවි.
දවසක් මම ටෙලි නාට්‍ය රූගත කිරීමකට ගිය වෙලාවක එක අම්ම කෙනෙක් මගේ ළඟට ඇවිත් කිව්ව දෙයකින් මම පුදුම තරම් සතුටක් වින්ද.
'පුතේ ඔයාලා නිසා තමයි අපේ පාළුව මැකෙන්නේ. ජීවිතේ තියෙන හැම දුකක්, තෙහෙට්ටුවක්ම මැකිලා යනවා ඔයාලගේ කතාවක් බලනකොට.' අදටත් මම ඒ මවගෙ ප්‍රකාශයෙන්, වචනයෙන් කියන්න බැරි සතුටක් විඳිනවා. එවන් ප්‍රශංසනීයත්වයක් ලබන්න විශාල කැප කිරීමක් කරන්න වෙනවා.

0 comments:

Post a Comment