Home » » Chat With buvini chapa diyalagoda

Chat With buvini chapa diyalagoda


 තවම තනිකඩයි ඒ නිසා හිත සැහැල්ලුයි
ඇය බුවනි චාපා දියලගොඩයි. තවත් විදිහකින් කිව්වොත් ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩගේ නැගණිය. අක්කණ්ඩියගේ අඩි පාරෙහි පියවර නගමින් ක්ෂේත්‍රයට පිවිස සිටින බුවනි නිර්මාණ ගණනාවකම සිය රංගන කෞශල්‍ය විහිදුවාලමින් සිටියි. මේ සූදානම ඒ බුවනි තවත් හඳුනාගන්න ගමන් කතාබහක යෙදෙන්න.

* බුවනි, අපි කොහෙන්ද මේ කතාව පටන් ගන්නේ?

මං හිතනවා මිල්ලෑව වලව්වෙන් පටන් ගත්තොත් හොඳයි කියලා.
* හේතුව?

ඒ නාට්‍යයෙන් තමයි මං රංගනයට පිවිසෙන්නේ.
* මොකක්ද ඒ අතීත කතාව?

මම අයි. ටී. එන් නාලිකාවේ අවුරුදු කුමරිය වුණා. ඉන් මාව දැකලා සුනෙත් මාලිංග ලොකුහේවා අයියා රංගනයට කතා කළා. ඒ මිල්ලෑව වලව්ව නාට්‍යයට.
* ඒ වන විටත් ඔහු ඔබ වත්සලාගේ නංගි කියලා දැනගෙන හිටියද?

මං හිතන්නේ නැහැ.
* රංගන ශිල්පිනියක් වෙන්න කාලෙක ඉඳලා නේද හීන මැව්වේ?

සත්තකින්. ඒත් මෙච්චර ඉක්මනට ඒ හීනය සැබෑ වේවි කියලා මං හිතුවෙ නැහැ.
* අක්කා රඟපානවා දැකලද බුවනිට රඟපාන්න හිතුණේ?

මෙහෙමයි, ඉස්සෙල්ලා කිව්වා වාගේ මට ලොකු හීනයක් තිබුණා රඟපාන්න. තවත් හීනයක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න. මේ හීන දෙක තුළ තමයි මං ජීවත් වූයේ. මේ බලාපොරොත්තු දෙකෙන් එකක් හරි ගියොත් අනික අත හරින්න වෙනවා කියලත් මං දැනන් හිටියා.
* ඒ කියන්නේ දැන් ගුවන් සේවිකාවකවීමේ හීනය අමතක කරලා?

ඔව්.
* අපරාදෙ බුවනිට ගුවන් සේවිකාවක් වෙන්නයි තිබුණේ?

ඇතැම් දෙනා ඔය කතාව මට කියනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න එක අතුරෙ යනවා වගේ වැඩක්. ඒත් මං රංගනයට හුඟක් කැමැතියි

 * තව ටික දවසකින් කට කතාවක් දෙකක් හැදුණොත් ඔබට හිතෙයි ගුවන් සේවිකාවක් වුණා නම් හොඳයි කියලා?

කටකතා අපිට නවත්වන්න බැහැ අනේ. ඇත්තම කිව්වොත් කටකතාවල තියෙන්නේ ඇත්ත නෙවෙයිනේ. මට ඕනෑ තරම් කටකතා හදපුවාවේ. මං සැලෙන්නේ නැහැ.
* බුවනි දැන් ඉගෙන ගෙන ඉවරද?

ගිය අවුරුද්දේ උසස් පෙළ කළා. රංගන කටයුතුවලට හිර වුණ නිසා ඊළඟට කරන්න ඕන අධ්‍යාපන කටයුතු අතපසු වුණා. මේ දිනවල ඒ ගැන හිතමින් ඉන්නවා. රංගනයට ආවේ පාසල් අධ්‍යාපන කටයුතු හමාර කරලා.
* පළමුවරට කැමරාවට මුහුණ දුන් දවස මතකද?

ඇයි නැත්තේ හොඳටම බය වුණා. සුනෙත් අයියලා මගේ හිත හැදුවා. මිල්ලෑව වලව්වේ නාට්‍යයේ සජනි කියල චරිතයක් මට කරන්න තිබුණේ. ඒක ටිකක් සංකීර්ණයි. මට එය හරියාකාරව නිරූපණය කරන්නට පුළුවන් වේදෝ කියලත් වෙලාවකට හිතුණා. ඒත් මං දැඩි අධිෂ්ඨානයෙන් ඒ අභියෝගයත් ජය ගත්තා.
* මිල්ලෑව වලව්වෙන් පසු ඔබට නිර්මාණ කිහිපයක්ම එක දිගට ලැබෙනවා? අක්කාගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබට ලැබුණේ?

ඇය ගොඩක් සතුටු වුණා. ඒ වගේම මට සුබපැතුවා.
* මං ඇහැව්වේ ඉතාම කෙටි කලකදී වත්සලාගේ මුල් යුගයට වඩා ඔබට රඟපාන්න අවස්ථා ලැබුණා. ඒ ගැන හිතලා අක්කාට ඊර්ෂ්‍යාවක් එහෙම ඇති වුණේ නැතිද?

අපෝ නැහැ. එයාට දැන් මං ගැන හොය හොයා ඉන්න වෙලාවකුත් නැතුව ඇති.
* අක්කා වගේ ඔබේ අදහසත් ක්ෂේත්‍රයේ කෙනකු හා විවාහ වීමද?

මම නම් කවදාවත් ක්ෂේත්‍රයේ කෙනකුª සමඟ විවාහ වෙන එකක් නැති වේවි. මගේ කැමැත්ත ක්ෂේත්‍රයෙන් පරිබාහිර වෘත්තියක යෙදෙන කෙනකු එක්ක විවාහ වන්න.
* ක්ෂේත්‍රයේ අය හොඳ නැහැ කියලද ඔබ කියන්නේ?

නැහැ,නැහැ. මං ක්ෂේත්‍රයේ අයට වරදක් කියන්නේ නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වන්නට කැමැති නැහැ කියලයි මං කිව්වේ.
* මේ වන විට බුවිනි පෙම්වතියක්ද?

තවම තනිකඩයි. තනිකඩ හිත සැහැල්ලුයි.
* නළුවන්ගෙන් විවාහ යෝජනා කීයක් විතර බුවිනිට ඇවිත් තියෙනවද?

වාසනාවට තවම එහෙම එක යෝජනාවක්වත් ඇවිත් නැහැ.
* රංගනයට අමතරව ඔබට ඇති වෙනත් කලා හැකියාවන් මොනවද?

මට හොඳට නටන්න පුළුවන්.
* රූගත කිරීමක් අතරතුරදී ලුණු දාපු බීම එකක් බිව්වා කියන්නේ ඇත්තද?

ඒක වුණේ සුනෙත් අයියගෙම ‘නුඹට ඉන්නෙ මං විතරද’ නාට්‍යය රූගත කරද්දී. ඒ සීන් එකේ දිග ඩයලොග් තිබ්බේ. අවසානයටයි බීම බොන්න තිබුණේ. කොහොම හරි බොහොම අමාරුවෙන් දෙබස් ටික පාඩම් කරගෙන සීන් එකේදි කියලා බීම වීදුරුවෙන් බාගයක් විතර එක හුස්මට බිව්වා. ඒක කටේ තියන්න බැරි තරමට ලුණු දාලා. මට එක පාරටම කැස්සක් ආවා. කටේ තිබුණු බීම ටිකත් එළියට දැම්මා. සීන් එක නතර කළා. ආයෙත් මුල ඉඳලා අර තඩි දෙබස් ටික කිව්වා. වෙන හොඳ බීම එකක් ගෙනවා. සුනෙත් අයියා මාව බයිට් කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ.


0 comments:

Post a Comment